Back

ⓘ ලෝක ආහාර අර්බුදය



ලෝක ආහාර අර්බුදය
                                     

ⓘ ලෝක ආහාර අර්බුදය

2006 වසරෙන් ආරම්බව, 2007 වසරපුරාත්, 2008 වසර මුල් මාස කිහිපයෙහිත් ලෝක ආර්ථිකය, මෑත ඉතිහාසයේ නොවූවිරූ ආකාරයේ ආහාර අර්බුදයකට මුහුණපා සිටි. ඊට හේතු වී ඇත්තේ අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවත්නා සහ සංවර්ධිත රටවල් රැසක සිදු වූ සහ සිදුවෙමින් පවත්නා ආහාර මිල ගණන් වල සීඝ්‍ර ඉහළ යාමයි. මෙම ආහාරෝද්ධමනය මගින් ඇති කරන ලද ආහාර අර්බුදය ආර්ථිකයන් මත ඇති කළ සහ ඇති කරන පීඩනය කෙතෙක්ද යත් ඇතැමෙක් මෙය ආර්ථිකයන් පතුලක් නොපෙනෙන ආගාධයකට ඇද දමන සහ විනාශ කර දමන සුනාමියක් ලෙස දකිති.

ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙජන කොටස් තව තවත් ආගාධයට වැටෙමින් සිටී. මෙය මන්ද පෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන් ළමුන්ගේ පැවැත්ම සහ වර්ධනය අවධානමට ලක් කිරීමටත් හේතු වී ඇත. මන්දපෝෂණය සෞඛ්‍ය ගැටළු රාශියකට මග පාදන අතර එය බුද්ධි මට්ටම පහත හෙළීමටද සෘජුවම හේතු වෙයි. තවද, පිරිහිණු වැහැරුණු සිරුරු රැකගැනීමට, නඩත්තු කිරීමට දැරිය යුතු සෞඛ්‍ය වියදම් ඉහළ යාමෙන් මූල්‍යමය වශයෙන් සෘජුවමද වැඩදායී මානව සම්පත දුබලව කෘෂව යාමෙන් ඇතිවන ආර්ථික අලාභයන් නිසා වක්‍රවද රටකට සිදුවන හානිය සුළුපටු නොවේ.

ආහාර මිල ඉහළ යාමට තුඩුදුන් කාරණා ගණනාවක් වෙතත් අධි වේගයෙන් ඉහළ යන ඉන්ධන මිල ඒ අතරින් ප්‍රධාන වෙයි. දේශගුනික වෙනස් වීම් වල බලපෑමද බරපතලය. කෙසේ වුවද ඉන්ධන මිල ඉහළ යෑමේත් ආහාර මිල ගණන් වැඩි වීමේත් සෘජු සම්බන්ධතාව පසුගිය කාලය තුළදී නිරීක්‍ෂණය කළ හැකි විය. ඛණිජ තෙල් මිල ඉහළ යත්ම විවිධ විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි බොහෝ අවධානය යොමුව තිබේ.

මෙකී වාතාවරණය තුළ ලෝක අවධානය ආහාර සුරක්‍ෂිතතාව වෙත යොමු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර සංවිධනය වැනි ජාත්‍යන්තර ආයතන පවා සාගින්නට එරෙහි නව වැඩ පිළිවෙලක ඇති අවශ්‍යතාව අවධාරණය කරමින් අනාගත ආහාර අවශ්‍යතාව සපුරාගිය හැකි මාර්ග පිළිබඳ සොයා බැලීමට උත්සුකව සිටී. ***සංවර්ධනය වෙමින් පවත්නා රටවල පාරිභෝගිකයින් තම ආදායමින් සියයට 50කටත් වඩා වැඩි ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කරනු ලබන අතර කාර්මික රටවල මෙම ප්‍රතිශතය සියයට 10-20 ක් පමණ වේ.***එමනිසා ආහාර මිල ගණන් ඉහළ යාම අඩු සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මත දැඩි පීඩනයක් ඇතිකර ඇත.

                                     

1. ආහාරෝද්ධමනය

2008 පෙබරවාරි මස සෙනෙගාල්හි තිරිඟු මිල පෙර වර්ෂයට සාපේක්‍ෂව දෙගුණයක් වූ අතර සෝගම් මිල සියයට 56 කින් ඉහළ ගොස් ඇත. නයිජීරියාවෙහි සෝගම් සහ මිලට් මිල ගණන් මෙම වසරෙහි මුල දෙගුණයක් විය.සුඩානයෙහි තිරිඟු මිල මෙම වසරට සාපේක්‍ෂව සියයට 90 කින් ඉහළ ගිය අතර සෝමාලියාවේ උතුරු ප්‍රදේශයේ තිරිඟු පිටි මිලේ ඉහළ යාම පසුගිය වසරේ මෙන් තුන් ගුණයකි. උගන්ඩාවේ බඩ ඉරිඟු මිල 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මිල ගණන් වලට සාපේක්‍ෂව 2008 මාර්තු මාසයේ ඉහළ යාම සියයට 65 කි. ඉතියෝපියාවේ අඩිස්-අබාබාහි බඩ ඉරිඟු මිලෙහි ඉහළ යාම පසුගිය වසරට සාපේක්‍ෂව දෙගුණයකි. තිරිඟු මිලේ ඉහළ යාම සියයට 42 කි. මොසැම්බික්හි මාර්තු මාසය වන විට පෙර වසරට සාපේක්‍ෂව බඩ ඉරිඟු මිලේ ඉහළ යාම සියයට 43 කි. පිලිපීනයේ සහල් මිල ගණන් 2008 මුල් මාස තුන තුළ සියයට 50කින් පමණ ඉහළ නැගිණි. බංගලාදේශයේ සහල් මිල ඉහළයාම සියයට 66 ක් විය. කිරි ආහාර මිල ඉහළ යාමේ සාමාන්‍ය සායයට 80 කට ආසන්න වූ අතර, එළවළු සහ සත්ත්‍ව තෙල් මිල ගණන් සියයට 50 කින් ද ධාන්‍ය මිල ගණන් සියයට 42 කින්ද ඉහළ නැගිණි. සීනි මිල පමණක් සියයට 32 කින් පහළ වැටී ඇත. 2007 වසරෙහි දක්නට ලැබුණු මෙම මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාව 2008 වසරේ මුල් කාර්තුවේ ද දක්නට ලැබුණු අතර 2008 මාර්තු මාසයෙහි ආහාර මිල දර්ශකය 218.4ක් වෙමින් එතෙක් වාර්තා වු ඉහළම දර්ශකාංකයට ළඟා විය.

                                     

2. ගෝලීය ආහාර අර්බුදයේ බලපෑම්

  • ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙජන කොටස් තව තවත් ආගාධයට වැටෙමින් සිටින අතර, මෙය මන්ද පෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන් ළමුන්ගේ පැවැත්ම සහ වර්ධනය අවධානමට ලක් කිරීමටත් හේතු වී ඇත.
  • මන්දපෝෂණය සෞඛ්‍ය ගැටළු රාශියකට මග පාදන අතර එය බුද්ධි මට්ටම පහත හෙළීමටද සෘජුවම හේතු වෙයි.
  • තවද, පිරිහිණු වැහැරුණු සිරුරු රැකගැනීමට, නඩත්තු කිරීමට දැරිය යුතු සෞඛ්‍ය වියදම් ඉහළ යාමෙන් මූල්‍යමය වශයෙන් සෘජුවමද වැඩදායී මානව සම්පත දුබලව කෘෂව යාමෙන් ඇතිවන ආර්ථික අලාභයන් නිසා වක්‍රවද රටකට සිදුවන හානිය සුළුපටු නොවීම.
  • ආහාර මිල ගණන් වල සීඝ්‍ර ඉහළ යාම, ප්‍රමාණවත් ආදායම් හා ආහාර නොලබන ලෝක ජනගහණයෙන් 1/6 ක් මිලියන 854 පමණ වන දිළිඳු ජන කොටස තවදුරටත් දරිද්‍රතාවයට ඇද දැමීමට හේතුවීම.
  • එය බොහෝ රටවල දේශපාලන කලකෝලාහල සහ අස්ථාවරතාවයටද නොයෙකුත් සමාජ ප්‍රශ්න ඇති කොට ඇත.

උදා: කැමරන්, බුර්කිනා ‍ෆාසෝ, ඊජීප්තුව යනාදී රටවල් ඇතුලුව බොහෝ රටවල ආහාර මිල ගණන් ඉහළ යාම දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් වාතාවරණයක් ඇතිකළ අතර හයිටියෙහි මෙම තත්ත්‍වය අගමැති ජැක්වීස් එඩුවාඩ් ඇලෙක්සිට තනතුර අත්හැර යාමට සිදුවන තරමටම උග්‍ර විය.

                                     

3. ලෝක ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු

මීට පෙර ලෝක ආහාර මිල ගණන් වල ඉහළ යාම බොහෝවිට කාලගුණය හා සම්බන්ධව පැවති අතර එසේ මිල ගණන් ඉහළ යෑම සෑම විටම පාහේ ඉතාමත් තාවකාලික හා කෙටිකාලීන වූවක් විය. එහෙත් වර්තමාන තත්ත්‍වය ඊට හාත්පසින්ම වෙනස්ය. මේ වන විට ලෝක ආහාර අර්බුදය සම්බන්ධයෙන් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විවාදයක් ගොඩ නැගී ඇත. එනම් සංවර්ධිත රටවල ඇතැම් නායකයන් පවසනුයේ ඉතා විශාල ජනගහනයක් වෙසෙන සංවර්ධනය වෙමින් පවත්නා චීනය හා ඉන්දියාව වැනි රටවල මෑත කාලයේ ඇති වූ ආර්ථික සමෘද්ධියත් සමඟ දිළිඳුබවින් මිදුණු නව මධ්‍යම පාන්තික ජනගහණයේ පරිභෝජන රටාවේ ඇති වූ වෙනස් වීම් තුළින් ආහාර සඳහා ඉල්ලුම ඉහළ යාම මෙසේ ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවය. අනෙක් අතට සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මීට පිළිවදන් දෙමින් පවසනුයේ තෙල් මිල ඉහළ යාම හා සංවර්ධිත රටවල් ආහාර භෝග ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවයි.

මෙහිදී ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු ලෙස ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගත හැක. එනම්:

  • . ආසියානු රටවල ඇති වූ නව ආර්ථික පිබිදීම හා ලෝක ජනගහණයේ ඉහළයාම මගින් ආහාර සඳහා වන ඉල්ලුම ඉහළ යාම
  • . 70 දශකයේ අරඹුණු හරිත විප්ලවය සහ රටවල් අතර නිදහස් වෙළදාම
  • . ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු වූ වෙනත් කාරණා
  • . කාලගුණික ව්‍යසන සහ සිවිල් කෝලාහල නිසා නිෂ්පාදනයේ පහත වැටීම
  • . තෙල් මිල ඉහළ යාම සහ විකල්ප බලශක්ති මූලාශ්‍ර ලෙස ජෛව ඉන්ධන භාවිතයට යොමු වීමෙන් ආහාර භෝග ඉන්ධන නිෂ්පාදනයට යොදා ගැනීම

3.1 කාලගුණ ව්‍යසන සහ සිවිල් කෝලාහල නිසා සැපයුම් අංශය අඩපන වීම

මිල ගණන් ඉහළ යාමට අදාළ සැපයුම් අංශයේ සාධකය ලෙස බොහෝ දෙනෙක් දකිනුයේ කාලගුණ ව්‍යසන හේතුවෙන් නිෂ්පාදනය පහළ වැටීමයි. ධාන්‍ය අපනයනයේ මුල් තැනක් ගන්නා ඕස්ට්‍රේලියාවේ සහ දකුණු අප්‍රිකාවේ 2006/2007 වසර වල පැවති දැඩි නියං කාලගුණය, උතුරු අප්‍රිකාවට බලපෑ ගංවතුර, චීනයට බතිත වූ දැඩි හිම පතනය හා උතුරු යුරෝපයේ දැඩි උණුසුම් කාලගුණය ආහාර නිෂ්පාදනය කෙරෙහි තරමක් දුරට අහිතකර බලපෑම් ඇති කළත්, ආහාර මිල ගණන් වල ඉහළ යාම ආහාර හිඟය නිසාම ඇති වූවක්නොවන බව ලෝක ධාන්‍ය නිෂ්පාදනය සම්බන්ධ දත්ත විමසා බැලීමෙන් පැහැදිලි වේ.

ස්වභාවික විපත් සේම එක් එක් රටවල අභ්‍යන්තර ආරවුල්ද නිෂ්පාදනය ‍කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර ඇත. දේශිය පරිභෝජන අවශ්‍යතා ඉක්මවා ගිය සහල් අතිරික්තයක් නිෂ්පාදනය කරන පාකිස්ථානය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල සිවිල් කෝලහල මෙසේ සැපයුම් අංශය අඩපනවීමට බලපා ඇත.

3.2 ජෛව ඉන්ධන නිපදවීම සදහා ආහාර භෝග යොදාගැනීම

1970 ගණන්වල ආරම්භ වූ හරිත විප්ලවයත් සමග කෘෂි නිෂ්පාදනය සාම්ප්‍රදයික දැනුමින් හා කාබනික පොහොර භාවිතයෙන් ඉවත්ව, නව යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට වඩා වඩාත් නැඹුරු විය. පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් සහල් අස්වන්නක් ලබාගනීමට මං සැලසුනද එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර වෙළද පොළේ යෙදවුම් වල මිල ගණන් ඉහළ යාම දේශීය කෘෂි අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ඉතා දැඩි ලෙස බලපෑමය. නිෂ්පාදනයේ ආරම්භක පියවරේ සිට අවසන් නිෂ්පාදනය පාරිභෝගිකයා අතට පත්වන තෙක් වන සකලවිද ක්‍රියාදාමයම විවිධාකාරයෙන් ජාත්‍යන්තර වෙළදපොළ හා බැදී පවතින නිසා මේ ගැටළුවෙන් ගැලවීගත නොහැකිය. එමනිසා ලෝක ඛනිජ තෙල් වෙළද පොළෙහි නිරතුරුවම සිදු වන මිල ඉහළ යෑම් කෘෂි අංශයේ නිෂ්පාදනය කෙරෙහි ඉතාමත් අහිතකර ලෙස බලපායි.

2008 මැයි මාසය වන විට ලෝක වෙළද පොළෙහි ඛනිජ තෙල් බැරලයක මිල US $ 129 ක් වූ අතර ඛනිජ තෙල් මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන පිරිවැයට බලපෑ අතර එය නිෂ්පාදනයේ විවිධ පියවර වල පිරිවැය ඉහළ යෑමෙන් ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු විය. තවද ඛනිජ තෙල් මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස ලොව, විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමු විය. ඒ අනුව බඩඉරිඟු හා උක් වැනි ආහාර භෝග මගින් එතනෝල් නිෂ්පාදනය කිරීමත් සෝයා බෝන්චි හා ෆාම් ඔයිල් මගින් ජෛව ඩීසල් නිපදවීමත්ලොව ප්‍රචලිත විය. බඩඉරිඟු මගින් එතනෝල් නිෂ්පාදනය කිරීමෙහිලා ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ එක්සත් ජනපදයයි.

ලෝක බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 40% ක්ම නිෂ්පාදනය කරනු ලබන්නේද ලෝක බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 70% ක්ම අපනයනය කරන්නේද එක්සත් ජනපදයයි. ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු යොදා ගැනීමෙන් බඩ ඉරිඟු අපනයනය පහළ වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වසරෙහි ලෝක ධාන්‍ය සංචිතය දින 57ක පාරිභොජනයට සෑහෙන පමණ පහළ වැටිණි. වසර 37කට පසු වාර්තා වූ ඉතාම පහල අගයයි.

ලොව පොසිල ඉන්ධන භාවිතයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතයට ප්‍රවේශවීමේ දී එය පරිසර හිතකාමි වුවද, එය පොසිල ඉන්ධන භාවිතයටත් වඩාඅහිතකර ප්‍රතිඵල අද ලොව හමුවේ ඉස්මතු කර ඇත.

ජෛව ඉන්ධන නිශ්පාදනය සදහා යොදාගන්නා භෝග වගා කිරීම බොහෝ රටවල ග්‍රාමීය අංශයේ නව රැකියා අවස්ථා ජනිත කිරීමට හා ආදායම් මට්ටම ඉහළ නැංවීමට හේතු වී ඇත. තවද නිෂ්පාදනය සදහා වගා බිම් ලෙස වනාන්තර යොදා ගනීමෙන් සිදුවන විනාශය, තෙත් බිම් හා තණ බිම් විනාශය හේතුවෙන් ලොවට විශාල කාබන් ප්‍රමාණයක් මුදා හැරේ. ඉන්දුනීසියාව හා බ්‍රසීලය මේ සදහා ප්‍රධාන පෙළෙහි රටක් බවට පත් වී ඇත. තවද බ්‍රසීලය සෝයා බෝංචි මගින් ජෛව ඩීසල් නිෂ්පාදනයද සිදු කරයි. මේ හේතු කොට ගෙන ඇමසන් වනාන්තරය එළිකිරීම සීඝ්‍රයෙන් සිදු කෙරේ. මේ අනූව වර්තමානයේ ජෛව ඉන්ධන භාවිතය ලෝක තෙල් අර්බුදයකට පිළියමක් වනවාට වඩා, වෙනත් අර්බුද රාශියක් ඉස්මතු කර ඇත. එය මිලියන 800ක් වන වාහන හිමියන් හා 850ක් වන සාගින්නෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන ලොව දුගී ජනතාව අතර ගැටුමක් බවට පත් කර ඇත.(Sports Utility Vehicle එකක ඉන්ධන ටැංකියක් පිරවීමට අවශ්‍ය එතනෝල් නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රමාණය එක් පුද්ගලයෙකුගේ වාර්ෂික ධාන්‍ය පරිභොජන අවශ්‍යතාවයට සමානය.

ලොව පොසිල ඉන්ධන භාවිතයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතයට ප්‍රවේශවීමේ දී එය පරිසර හිතකාමි වුවද, එය පොසිල ඉන්ධන භාවිතයටත් වඩාඅහිතකර ප්‍රතිඵ‍‍ල අද ලොව හමුවේ ඉස්මතු කර ඇත.‍

ආහාර මිල ගණන්වල ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපෑ රටවල් වූයේ ඉරිඟු පදනම් කරගත් ආහාර ප්‍රධාවන රටවල්ය. මෙවැනි රටවල් 20 කටත් අධික සංඛ්‍යාවක් ඇත. ආහාරොද්ධමනය හේතු කොට ගෙන එම රට වැසියන් මිල පාලනය ඇති කරන ලෙස රජයට බල කරමින් උද්ඝොෂණ වල නිරත වූ අතර, මෙසේ එක් එක් රටවල ජනතාව විදින පීඩනය දේශපාලන අස්ථාවරත්වයට බලපෑ අතර, සමාජ පීඩනය නොයෙකුත් අයුරින් අඬාලවීමට ද බලපා ඇත. තවද ධාන්‍ය ආනයනය කරන ඉන්දුනීසියාව, ඊජිප්තුව, මෙක්සිකෝව වැනි රටවල ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර කොල්ලකෑම් ඇති වීමට බලපා ඇත.වැඩිවන ජීවන වියදමට සරිලන ආකාරයට ආදායම් ඉපයීමට රැකියාවලට යෑමට සිදුවීමෙන් ඇතැම් රටවල පාසැල් ළමුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වී ඇත.

3.3 ආසියාතික රටවල ඇති වූ ආර්ථික පිබිදීම හා ජනගහණ වර්ධනය

ආසියානු කලාපයේ චීනයේ හා ඉන්දියාවෙහි ඇති වූ නව ආර්ථික පිබිදීමත් සමග ආදායම් මට්ටම් ඉහළ යෑම හේතුවෙන් මිලියන ගණනාවක ජනගහණයක් දරිද්‍රතාවයෙන් මිදුණි.මෙම රටවල්වල් නව මධ්‍යම පන්තියක් බිහි වූ අතර ඔවුන්ගේ පරිභොජන රටාවද ආදායම් වර්ධනයත් සමග වෙනස් විය. මෙම පරිභෝජන රටා‍වේ වෙනස්වීම මිනිස් පරිභෝජනය සඳහා වන ආහාර ඉල්ලුම ඉහළ යාමටත් අනෙක් අතට සත්ත්‍ව නිෂ්පාදනය සඳහා අවශ්‍ය ධාන්‍ය ඉල්ලුම ඉහළයාමටත් බලපායි. මන්ද මස් කි.ග්‍රෑ. 1ක් නිශ්පාදනය කිරිම සඳහා සාමාන්‍යයෙන් ධාන්‍ය කි.ග්‍රෑ. 8ක් පමණ අවශ්‍ය වන බැවිනි. කුකුල් මස් කි.ග්‍රෑ. 1ක් නිෂ්පාදනය කිරිම සඳහා ඉරිඟු හා සෝයා බෝංචි කිලෝ ග්‍රෑම් 2ක් පමණ අවශ්‍ය වන අතර ඌරු මස් කි.ග්‍රෑ. 1 ක් නිෂ්පාදනය කිරීමට සත්ත්‍ව ආහාර කි.ග්‍රෑ. 5-7 ක ප්‍රමාණයක්ද හරක් මස් කි.ග්‍රෑ. 1ක් සඳහා ආහාර කි. ග්‍රැ. 8ක ප්‍රමාණයක්ද අවශ්‍යවේ.

එමෙන්ම මස් සදහා වන ඉල්ලුම තුළින් ධාන්‍ය මිල ඉහළ යන සේම චීස් හා බටර් ඉල්ලුමෙහි ඉහළ යාම කිරි නිෂ්පාදනය ඉහළ යාමට හේතු පාදක වන අතර එයද අනෙක් අතට ධාන්‍ය මිල ගණන් ඉහළ යාමට බලපායි. මෙසේ පරිභොජන රටාව වෙනස්වීම මගින් ඉල්ලුම ඉහළ යාමද ලෝක ජනගහණයෙහි ඉහළ යාමට ප්‍රමාණවත් වන පරිදි නිෂ්පාදනය වැඩි නොවීමද ආහාර මිල ගණන් ඉහළ යාමට බලපා ඇත.

එහෙත් කෘෂි භෝග සදහා 2005 ට පෙර පැවති අඩු මිල ගණන් නිසා බොහෝ රටවල කෘෂිකර්මන්තය සදහා යොදා ගත හැකි ඉඩම් කෘෂි වගාවන්ගෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. නොඑසේ නම් එම බිම් කෘෂි නොවන වෙනත් කටයුතු සදහා යොදගෙන ඇත.

පසුගිය කාලයෙහි පරිභෝජන රටාවෙහි වෙනස්කම් හරහා ආහාර සදහා ඉල්ලුම වේගයෙන් වැඩි වූ චීනය සහ ඉන්දියාවෙහි ජනගහණය සහ ආදායම ඉහළ ගිය ද ඊට සාපෙක්ෂව නිෂ්පාදනය ඉහළ ගොස් නැත. කෙසේ වෙතත් අනෙකුත් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන් නොව චීනය හා ඉන්දියාව සහල් සහ තිරිගු අතින් ස්වයං පෝෂිත මට්ටමක පවතී. එහෙත් මස් පරිභොජනය සදහා චීනයේ ඇති නැමියාව දෙස බලන විට ඉදිරියේදී චීනය සත්ත්‍ව ආහාර සදහා ධාන්‍ය ආනයනය කරන්නෙකුගේ ත්ත්ත්‍වයකට පත්වීමට ඉඩ ඇත.

ලොව විශාලතම දිළිඳු ජනගහණය වෙසෙන්නේ ඉන්දියාවේය. එහෙත් මධ්‍යම පාන්තික ජනගහණයේ පරිභොජන රටාව වෙනස් වී ඇත. අනෙක් අතට වාර්ෂික ජනගහණ වර්ධන අනුපාතය සියයට දෙකක් වෙද්දී ඉන්දියාවේ කෘෂි නිෂ්පාදනය වර්ධනය වී ඇත්තේ සියයට එකකින් පමණි. එහෙත් වැඩි වන ඉල්ලුම දේශිය නිෂ්පාදනය වැඩි කර ගැනීම තුළින් සපුරාලීමේ ශක්‍යතාව ඉන්දියාව සතුව පවතී. එම නිසා ආහාර සදහා වැඩි වන දේශිය ඉල්ලුම දේශිය නිෂ්පාදනය වැඩි කර ගනීම තුළින් සපුරා ගැනීමට ඇතැම් විට ඉන්දියව සමත් වනු ඇත. චීනය සම්බන්ධයෙන් ගත් විට එහි වගා බිම් කාර්මිකරණයට හා ජනාවාසවලට ගොදුරුවීම අභියෝගයක්ව ඇත.

ඒ හරුණු විට 2008 වසරෙහි මුල සිදුවූ කාළගුණ ව්‍යසනයද මෙම අභියෝගය ජයගැනීමට එරෙහිව සිටී. ජනවාරි හා පෙබරවාරි මාස වල දකුණු චීනයේ පළාත් ගණනාවක් දැඩි සීතල, අයිස් වැසි සහ හිමපතනයට ලක් විය. මෙය එරට මිලියන 100 ක ජනගහණයකට බලපා ඇතැයි නිල වශයෙන් ගණන් බලා ඇත. මින් බොහෝ කෘෂිකාර්මික භෝග විනාශ වූ අතර චීන කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව ආහාර පිසීමට යොදාගන්නා තෙල් නිපදවීම සදහා වගාකරන රෙප්සීඩ් නම් වගාවෙන් හෙක්ටයාර මිලියන 410.000ක් මුලුමනින්ම විනාශ වී ඇත.

3.4 70 දශකයේ අරඹුණු හරිත විප්ලවය සහ රටවල් අතර නිදහස් වෙළදාම

70 දශකයේ අරඹුණු හරිත විප්ලවය සහ රටවල් අතර නිදහස් වෙළදාම ද ලෝක ආර්ථිකය ආහාර අර්බුදයකට ගෙන යාමට හේතු වී ඇත. මෙම ප්‍රවණතා දෙකෙහිදීම නිෂ්පාදනයේ සෑම පියවරකදීම හා බෙදාහැරීම් ක්‍රියාවලියේදී බලශක්ති, රසායනික යෙදවුම් හා විශාල ප්‍රවාහන පිරිවැයක් දැරිය යුතු වීම ඊට හේතුවයි. හරිත විප්ලවය හා නිදහස් වෙළදාම මගින් දේශිය වශයෙන් ස්වයංපෝෂිත ආර්ථික අන්‍යෝනය වශයෙන් එකිනෙකා මත යැපෙන ආර්ථික බවට පත් වූ අතර ඇතම් රටවල් අද ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් 80% -90% ක ප්‍රමාණයක් ආනයන මගින් සපුරා ගනී. මේ නිසා ජත්‍යන්තර වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ගෙන් වියුක්තව සිටීමට බොහෝ රටවලට හැකියාවක් නැත.

3.5 ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු වූ වෙනත් කාරණා

1. ලොව බොහෝ රටවල් අනාගත ආහාරෝද්ධමනය අපේක්‍ෂාවෙන් දේශිය පරිභොජන අවශ්‍යතා සදහා දේශිය නිෂ්පාදන රඳවා තබාගනිමින්, අපනයන සීමාද පැනවීම. උදා: ඉන්දියාව, පකිස්ථානය, වියට්නාමය, ඊජිප්තුව, බ්‍රසීලය, සර්බියාව, යුක්‍රේනය හා සැම්බියාව.

2. අඩු තොග මට්ටම් සහ දීර්ග කාලීන කෘෂි ආයෝජන අවම වීම.

3. ඉහළ යෙදවුම් මිල ගණන් සහ ලෝක තෙල් මිල ගණන් ඉහළ යෑමේ බලපෑම.

4. නාගරීකරණය.

5. මූල්‍ය සම්පේක්‍ෂණයන්.

6. දුර්වල වෙළඳ ප්‍රතිපත්තීන් සහ වෙළඳ නිර්බාධීකරණයේ බලපෑම.



                                     

4. මූලාශ්‍ර:

  • Global Food Crisis, June 16, 2009
  • Food Crisis, June 16, 2009
  • "Biofuels major cause of global food riots", Kazinform Kazakhstan National Information Agency, April 11, 2008
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →